ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමාගේ සිහිනය මල්එල ගන්වමින් නිල්වන් කෙතට රන් දියවර තිළිණ කළ වගයි

posted on: 31-10-2014

“අට්ටික්කාව චමල් රාජපක්‍ෂ අමුණ”

Attikkawa Amuna 640 X

ගරු කථානායකතුමාගේ පණිවිඩය

ශ්‍රී ලාං‍කේය අප සිංහල රජ දවස දක්වා දි‍වෙන විශ්මිත වූ වාරි කර්මාන්තයකට නෑකම් කියන උරුමකරුවන් වෙමු. එසේ වුවද වර්ථමානය වන විට අප විවිධ පාරිසරික හා ස්වභාවික ‍හේතූන් මත දැඩි ජල හිඟයකට මුහුණ ‍දෙමින් සිටින්නෙමු. විශේෂයෙන් හම්බන්‍තොට දිස්ත්‍රික්කය ‍මෙම ගැටලුවට වඩාත් ප්‍රබලව මුහුණ ‍දෙන බව මා අත්දැකීමෙන් දැන සිටි‍යෙමි. මාගම ප්‍රදේශයේ කුඹුරු අක්කර 2500ක් පමණ යල කන්නයේදී ජල හිඟය (යෝධ වැව) හේතුවෙන් අස්වැද්දීමට නොහැකිව තිබුණි.

1970 – 1977 කාලයේ ගොවි ජනතාව, රජ්‍ය ‍‍‍නොවන සංවිධාන හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ ශාඛා සමිතිවල සහ‍යෝගයෙන් එවකට සිටි ‍ටෙනිසන් එදිරිසූරිය මන්ත්‍රීතුමා කුඹුරුවලට ජලය ‍ගෙන යාම සඳහා ඇලක් කපන ලදී. ‍මෙය ජල හිඟයට එය විසඳුමක් ‍නොවූ‍යෙන් ‍මෙම ඇල අතහැර දමා තිබිණි. ගොවි ජනතාවගේ ජල ගැටළුව ඒ ආකාරයෙන්ම තවත් ඉදිරියට ඇදෙමින් දිග්ගැස්සෙමින් තිබුණි.

1994 දී පත් වූ රජය මේ ගැන අධ්‍යයනය කර තාවකාලික අමුණක් ඉදි කිරීමට පිඹුරුපත් සකස් කරන ලදි. එය කිරිඳි ඔය හරහා ඉදි කිරීමට එවකට හම්බන්තොට සහකාර වාරිමාර්ග අධ්‍යක්‍ෂව සිටි මුල්‍ලෙගංගොඩ සහ සිරිල් ‍පෙ‍රේරා ඉංජි‍නේරුවරුන්ගේ පූර්ණ දායකත්වයෙන් ඉදිකරන ලදි.

මේ සඳහා ප්‍රතිපාදන දකුණු පළාත් සභාවේ එවක ප්‍රධාන අමාත්‍යව සිටි ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ලබාදෙන ලදි. එය ඉතා සාර්ථකව නිම කිරීම නිසා මාගම ජල ප්‍රශ්නයට විසඳුම් ලැබුණි. ඒ නිසාම අළුතින් අක්කර 500 ක් පමණ වගා කිරීමට නැදිගම්විල ‍ගොවීන්ට අවස්ථාවක් උදා වූහ. ගොවි ජනතාවගේ ජල පිපාසය සාර්ථකව සංසිඳවූ එම අමුණ සොබාදහමට අනුකූලව අවුරුදු 10 කට පමණ පසු ඇති වූ ජල ගැල්මකින් කැඩී ගි‍යේය.

2009 දී වෙහෙරගල ජලාශය, ඇල්ලගල අමුණ සහ පහල කොටස ප්‍රතිසංස්කරණය කිරීමට මිලියන 450 ක් පමණ එවක රජ‍යෙන් වෙන් කළහ. එම ප්‍රතිසංස්කරණවලින් ඉතිරි වූ මුදල් ‍යොදා‍‍ගෙන අට්ටික්කාව අමුණ ස්ථීර අමුණක් ‍ලෙස ඉඳිකරන ලදි. ඒ හා සම්බන්ධවන ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කොට 2014.10.31 දින අට්ටික්කාව අමුණ ජනතා අයිතියට පැවරීම ගැන සතුටු වනවා. ජනතා පහස නොලබා මුහුදට ගලා ගිය ජලයෙන් මේ වන විට අක්කර 2000 – 3000 ක් පමණ පහසුවෙන් යල මහ දෙකන්නයම පමණක් නොව අතුරු කන්නයන්ද වගා කිරීමට මාගම් පත්තුවේ ජනතාවට පුළුවන්වීම ගොවි ජනයාගේ බලාපොරොත්තු මල් ඵළගැන්වීමකි.

මාගම්පත්තුවේ ගොවි ජනතාව වෙනුවෙන් මෙම සත්කාර්යය කරන ලද වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ වැඩ අවසන් කිරීම සඳහා උනන්දු‍‍වෙන් සහයෝගය ලබාදුන් ගරු නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමාටත් මම ස්තුතිය පුදකරමි.

චමල් රාජපක්‍ෂ

********************************

ගරු වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය

නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ සුබ පැතුම්

ශ්‍රී ලාංකේය ජාතිය ලොව සියලු ජාතීන්ට නොදෙවෙනි ජාතියක් බවට පත් කළ කාරණා අතර ප්‍රධාන විෂය වන්නේ අපේ විශ්මිත වාරි තාක්‍ෂණයයි. ලොව නූතන වාරි ඉංජිනේරුවන් මවිතයට පත් කරවීමට තරම් අපේ ඉපැරණි වාරි තාක්‍ෂණය සූක්‍ෂමතාවයෙන් ඉහළය. බටහිර ජාතීන් අපේ මේ උරුමය අපගේ ජාතියේ ජීවප්‍රාණාලිය බව තේරුම් ගත් නිසා අපව පරාධීන ජාතියක් කිරීමට නම් මේ වාරි පද්ධතිය විනාශ කළ යුතු බවට තීරණය කළේය.

ඌව වෙල්ලස්සෙන් පිබිදී ආ දෙවන නිදහස් සටනට ඉංග්‍රීසීන් ප්‍රතිචාර දැක්වූයේ වෙල් ලක්‍ෂයක් අස්වැද්දූ අපේ වාරි පද්ධතිය විනාශ කරමින්ය. ඉතිහාසයේ සිදු වූ ඒ අසාධාරණයට සංවර්ධන සාධාරණය ඉටු කිරීමට පියවර ගත්තේ රුහුණෙන් බිහි වූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාය. ඌව වෙල්ලස්සට, රුහුණට ජල සම්පත ලගා කර දී සියලු කෙත්වතු අස්වැද්දීමෙහිලා එතුමාගේ අභිප්‍රාය පෙරදැරිව කිරිදි ඔය හරස් කර බැඳි අට්ටික්කාව චමල් රාජපක්‍ෂ අමුණ අද අපි දියවර සදහා විවෘත කරන්නේ ඉමහත් සතුටිනි. ගරු කථානායක චමල් රාජපක්‍ෂ මැතිතුමා නමින් මේ අමුණ නම් කලේ රුහුණට ජල සම්පත් නොඅඩුව ලබා දීමට එතුමා දරන සැබෑ අවංක දිරිය සම්පන්න උත්සාහයට උපහාර පිදීමටය. අට්ටික්කාව අමුණ චමල් රාජපක්‍ෂ මැතිතුමා දුටු සිහිනයක් සැබෑවීමකි. රුපියල් මිලියන තුන්සිය අනූවක වියදමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉදිකල අට්ටික්කාව අමුණ තුළින් ගොවිබිම් අක්කර 1800 කට දියවර සැපයේ. ඊට අතිරේකව සතා සීපාවට ගහට කොළට ද ජීවය ලැබේ. පරිසරයේ වියළි බව වියැකී සිසිලස පැතිරේ. මේ තුළින් ප්‍රතිලාභ ලබන කිරිදි ඔය පහල මිටියාවතේ ජනතාව සමග එක්ව මම ද අද ඒ සතුට බෙදා ගනිමි.

පින්තූර – අමිල සම්පත්

Latest Video

Development Map